සිත කිලිටි වන්නේ ලස්සන කාම වස්තු නිසා ද?

“මොහොතකට සිතන්න. අලංකාර නදියක් අසබඩ සුන්දර සැඳෑවක එක් ඉවුරක සසර බැමි සිඳදැමූ රහතන් වහන්සේ නමකුත්, අනෙක් ඉවුරේ ඔබත් සිටියොත් කුමක් වේවි ද?”

අප මුළු මහත් ජීවිතය තුළ ම බලාපොරොත්තු වන්නේ සැප, සතුට ලබන්නට නො වේ ද? අපේ සියලු ප්‍රයත්නයන් ඒ සඳහා ය. පුංචි දරු පැටියකු ලොව එළිය දකින විට ඒ දරු පැටියා හය හතර නො දනී. කිසිත් තේරුම් ගත නොහැකි බිලිඳා දන්නා එක ම දෙය නම් සියල්ලට ම හැඬීම ය. එහෙත් ඒ පුංචි හිතේ ‘මගේ’ කියලා කිසි ම දෙයක් නෑ. ‘මම’ කියන වචනය දන්නෙවත් නෑ. එය කොපමණ දැ යි කිව හොත් ඕනෑ ම මවකගෙන් දෙතනේ කිරි උරා බොන්නට ඒ බිලිඳාට පුළුවන්.

“පභස්සරමිදං භික්ඛවේ චිත්තං.”

යථෝක්ථ ධර්ම පාඨයට අනුව ම පුංචි අවධියෙහි ඔබේත් සිත හරිම පිවිතුරු වූ බව, ප්‍රභාශ්වර වූ බව අමතක නොකරන්න. කිසිත් අවබෝධයක් නැති වුවත් ඒ පුංචි හිතේ ලෝභයක් තිබුණේ නෑ. වෛරයක් තිබුණේ නෑ. ඊර්ෂ්‍යාව, කුහකකම, අනුන් හෙළාදැක්ම වගේ සිතිවිල්ලක් තිබුණේ නෑ.

ඒත් ටික කලක් යන විට මේ පුංචි දරුවාට අම්මා – තාත්තාගේ පටන් ‘මගේ’ ය කියන දේවල් ගොඩගැසුණා. ‘මගේ’ ය කියන දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න, ඒ තරමට ම මහා මානයක් ඇති වෙලා, ‘මම’ කියන කෙනෙක් සිතේ ස්ථාවර වුණා නේද? නොදැනීම තවත් කලක් යන විට ‘මම’ යි ‘මගේ’ ය කියන හැම දේමයි ‘මගේ ආත්මය’ වුණා නේද? මාගේ කියන දේවල් වඩවඩාත් වැඩි වෙනකොට ‘මම’ කියන කෙනාට ඇති වූ මානය කොපමණ ද කිවහොත් ‘මගේ’ ය කියලා ලොකු වාහනයක් තියෙන කෙනාට පයින් යන එක මදිකමක් වුණා. ‘මාගේ’ ය කියලා ලොකු සැප සම්පත් පිරීගිය ගෙදරක් තියෙන කෙනාට වන්දනාවක ගියත් විශ්‍රාම ශාලාවක එක් රැයකට නවාතැන් ගන්න බැරි වුණා. මේ ඔක්කොම ටික සිදු වෙද්දී වටිනා මනුෂ්‍ය ධර්ම ටික ජීවිතයෙන් පැන යනවා අපිවත් දන්නේ නෑ. පුංචි, නොතේරෙන වයසේ ප්‍රභාස්වර ව තිබුණු සන්තානය දැනුම් තේරුම් ඇති දැන්, මෝහයෙන් වෙළිලා, කෙලෙස් ගින්නෙන් දැවෙන හැටි පේනවද? මේ හැම දේ ම කාමය නමැති ඕඝයට හෙවත් සැඩ පහරට හසු වීමේ අනිටු ප්‍රතිඵල යි. එතකොට ‘කාම’ කියන්නේ මොනවා ද? සත්ත්වයාගේ ඇස, කන ආදි ඉන්ද්‍රියයන්ට ගෝචර වන බාහිර ලෝකයේ සියලු දේ කාම කියලයි හඳුන්වන්නේ. එතකොට දැන් ඔබට සිතෙයි එහෙනම් වැරැද්ද තියෙන්නේ ලස්සන ලස්සන කාම වස්තුවල කියලා. නෑ ඒවායේ නෙමෙයි වරද. වරද කාමවස්තුවල නම් ඒවා විනාශ කරදැමුවා ම සත්ත්වයා නිවන් දකින්න ඕනෑ. එහෙම නම් ඇස කන ආදියේ ද වරද? නෑ. වරද ඒවායේ නම් උපතින් ම අඳ, බිහිරි අය නිවන් දකින්න ඕනෑ. එහෙම නම් වරද කොතැන ද? බුදු රජාණන් වහන්සේ දේශනා කළේ,

“න තේ කාමයානි චිත්‍රානි ලෝකේ

සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ

තිට්ඨන්ති චිත්‍රානි තථේව ලෝකේ

අතෙත්ථ ධීරා විනයන්ති ඡන්දං.”

ලෝකයේ ඇති අපමණ විචිත්‍ර දේ කාමයෝ නො වෙති. කාමය වනාහි එකී විචිත්‍ර දෙය කෙරෙහි පුරුෂයාගේ සන්තානයෙහි ඇති වන ලාමක රාග සංකල්පනාව ම ය. එහෙයින්, විචිත්‍ර දේ ලොව එසේ ම තිබියදී නුවණැත්තෝ ඡන්දය හෙවත් ආශාව දුරු කරති.

එසේ නම් මතක තබාගන්න, ලොව විසිතුරු ය. එමෙන් ම ලොව වටිනා දේ බොහෝ ය. ඒ සියල්ල ඔබ විඳින්න. එහි කිසිදු වරදක් නැත. මේ ලෝකය තුළ ඇති විචිත්‍ර දේවල අපමණ විචිත්‍රත්වය අපට වඩා හොඳින් උතුම් රහතන් වහන්සේ දුටහ. ඒත් විරාගී නික්ලේශී මනසින් දැක්කා, වින්දා පමණ ම යි. අල්ලාගත්තේ නැහැ. ඒත් ඔබ රූප බලන්නේ කාම සංකල්පනාවන්ගෙන් කෙලෙසුණු සිතකින් නම්, ශබ්ද අසන්නේත් එසේ ම නම් ඒ හැම එකක් ගානේ ම ඔබ මේ සසරේ අතරමං වෙනවා.

මොහොතකට සිතන්න. අලංකාර නදියක් අසබඩ සුන්දර සැඳෑවක එක් ඉවුරක සසර බැමි සිඳදැමූ රහතන් වහන්සේ නමකුත්, අනෙක් ඉවුරේ ඔබත් සිටියොත් කුමක් වේවි ද? උතුම් රහතන් වහන්සේ නදියෙහි, සැඳෑවෙහි සුන්දර බව නිකෙලෙස් සිතින් විඳිනවා. ඇසින් දැක්කාට සිතෙන් අල්ලාගන්නේ නෑ. උන් වහන්සේ විඳින සොඳුරු බව නිරාමිශ යි. ඒත්, ඔබට නදිය දෙස බලා ඉඳලා ටික වෙලාවකින් එයට බහින්න ම, බැහැල නාගන්න ම හිතෙනවා නේද? එහි බැස්සොත් ඔබට ඒ සුන්දරත්වය පේනවා ද? ඒ දිය පහරේ ඔබ ගසාගෙන ගියොත් යන්නේ පහළට ම යි. ඒකත් අර රහතන් වහන්සේ දකිනවා. කාමයත් දරුණු දිය පහරක්. ඔබත් එයට බැස්සොත් නම් පහළට ම ගසාගෙන යනවා. දුකට ම යි වැටෙන්නේ. දැක සැනසෙන්නේ නැති ව බැසගත්තොත් ඔබ වැනසෙනවා ම යි.

එනිසා ඔබ ද ලෝකය තුළ සිහි මුළාවෙන් නො ව, මනා අවදියෙන් ජීවත් වන්න. ලෝකය ඇසුරු කරගෙන ම ලෝකයෙන් එතෙර වන්න වැර දරන්න.

[පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර හිමි]

Recent Articles

I BUILT THIS WITH WORDPRESS

Related Stories

Leave a Reply

Stay on op - Ge the daily news in your inbox